ලිපිය පල කළේ : Unknown Tuesday, March 18, 2014

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ

උපත1890 මැයි 29 වන දින
මියගියේ1976 ජූලි 23වන දින නාවල
මරණයට හේතුවරෝගී තත්ත්වයක්
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
මව්පියෝළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි

මුල් කාලය

මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යුවලගේ එකම දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.
වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂර ද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, එහි දී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.

නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා

වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.
1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාව ද ඉටු කළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරළිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.
වික්‍රමසිංහ විසින් පසුව ගම්පෙරළිය(1944),යුගාන්තය (1948) සහ කලියුගය (1957) තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.

50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුළ සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටළු සහගත තත්වය ඉන් නිරූපිත ය. මෙහිදී කාලානුක්‍රමික පිළිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනා වී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක් ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලට ම ඉහළින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.

අපේ ඉතිහාසයේ මාර්ටින් වික්‍රමසිංහට හිමි තැන 

ඉකුත් සියවසේ තුන් අඩක්‌ ගෙවුණු තැන, මාර්ටින් වික්‍රමසිංහට අසූපස්‌වැනි විය පිරුණි. 1975 වසරේදී යෙදුණු හෙළයේ මහගත්කරුගේ අසූපස්‌වැනි ජයන්තියද, ශ්‍රී ලාංකීය සමාජයට මහත් අසිරිමත් අවස්‌ථාවක්‌ වූ බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. සීමාසහිත තිසර ප්‍රකාශකයින් විසින්, ඒ නිමිතිකොටගෙන මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල මහා ප්‍රඥයා (Martin Wikramasinghe The Sage of Koggala) යන හිසින් ලිපි එකතුවක්‌ පළ කෙරිණි. මෙම කෘතියෙහි තෙතැන සඳහන් කර ඇති එකී ලේඛන සමුච්චයට, දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ද විසින් ලියන ලද සාරගර්භ වූද, මහා ලේඛකයාගේ ජීවන තොරතුරු අනාවරණය කෙරෙන්නාවූ ද, ලේඛන රැසක්‌ ඇතුළුව තිබුණි.

ඔහු ධරමාන කාලයේ ප්‍රකාශිත අවසාන ග්‍රන්ථය වූයේ, ඉංගිරිසි බසින් ලියන ලද Sinhala Language and Culture යන කෘතියයි. ඒ වසරේදී අනෙක්‌ ග්‍රන්ථයක්‌ ඔහු අතින් නොලියවුණද, ඔහුගේ ගලිවරායණයේ අලුත් මුද්‍රණයක්‌ පළ වූ බව පෙනෙයි. ඊට අමතරව, "පුණ්‍ය ෙච්තනාව හා අගම භක්‌තිය" (ඥdනාර්ථ ප්‍රදීපය), "වී ගොවිතැන නිසා උපන් සිංහල සහ්‍යත්වය - නව ගොවි යුගයක උදාව" (පලදාවර්ධන කමිටු හා ගොවි කාරක සභා සාමාජිකයන් සඳහා අත්පොතක්‌) "සකුවටත් ඉංගිරිසියටත් වහල් වූ සිංහ උගත්ත් (කලා පුවත් - ගාල්ල සාහිත්‍ය උත්සව විහේෂ සංග්‍රහය), "සිංහල සංස්‌කෘතිය" (දිනමිණ වෙසක්‌ කලාපය), යන ලිපිද ඔහු නමින් පළව ඇති බැව් මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය දක්‌වයි.

සිය පියාණන් අසූවැනි වියට එළඹුණු අවස්‌ථාවේදී ඔහු පිළිබඳ සමරු සටහන් ලියන රූපා දියණිය කියා සිටියේ, "තාත්තා සිතින් තවමත් ප්‍රබලය, කයින් දුබලය" කියාය. එහිලා ඇය මෙසේද පැවසුවාය.

"1971 දී පමණ ඔහුගේ පෙනීම දුර්වල වන්නට වූ විට, ඔහු එය දුටුවේ තමාට සිදු වන මහා විපතක්‌ ලෙසය. ඔහුගේ ඇස්‌ නොපෙනී යාමට ඉඩ ඇතැයි වැටහුණු විට එය ඔරොත්තු දිය නොහැකි පහරක්‌ ලෙස දැනිණ. ස්‌වල්ප කාලයක්‌ ඒ ගැන සසල වූ සිත් ඇතිව ලතැවුණු තාත්තා, දස හැවිරිදි වියෙහිදී තම පියා මැරුණු විට අසරණ නොවූ ලෙසම, අසූදෙවැනි වියෙහි දී තම නෙත් අඳුරු වූ විටද අසරණ නොවීය. නොයෙක්‌ පරීක්‌ෂණවලින් පසුව ඔහු අම්මාත් සමග මොස්‌කව් බලා පිටත් වූයේ, අභීතව ශල්‍යකර්මයකට මුහුණ දීමටය. තුන් මසෙකින් තාත්තා පෙරළා පැමිණියේ, සම්පූර්ණ සුවය ලබා නොවේ. පෙනීම ක්‍රමයෙන් ප්‍රබල වෙතියි යන බලාපොරොත්තුව ඇතිවය. එම බලාපොරොත්තුව ඉටු විය. ශල්‍යකර්මය ලැබූ ඇසෙහි පෙනීම දැන් ක්‍රමයෙන් පැහැදිලි වේ. 1972 න් පසුව ඔහු අලුත් පොත් හතරක්‌ම පළකොට ඇත. අනික්‌ ඇසේද ශල්‍යකර්මයක්‌ කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි."

එහෙත්, ඒ ශල්‍යකර්මය කරන්ට ඉඩ නොලැබුණි.

1975 - 1976 අවුරුදුවලදී වැඩි වශයෙන්ම නිවසේ විවේකීව ගත කරනු දක්‌නා ලදී. තමා මුණ ගැහෙන්ට පැමිණි ලේඛන මිතුරන්ට සහ සෙසු ඥdති ගණයාට ඔහු නිතර කියා සිටියේ, තමාට කළ හැකි වූ එකම කාරිය වූ පොතක්‌ කියවන්ටද දැන් ඉඩක්‌ නොමැති බවය.

අනවරතයෙන් අවදිව පැවති ක්‍රියාකාරී මනසකින් පොතපත කියවූ, පොතපත ලියූ, ලෝකය දෙස බැලූ, ජීවිතයත් ලෝකයක්‌ විමසූ මාර්ටින් වික්‍රමසිංහ නමැති මහගත්කරුට, තම ජීවිතයේ විඩාව ඔහුට මඳින් මඳ දැනෙන්ට විය ඔහුගේ සෞඛ්‍ය බිඳෙන් බිඳ පිරිහෙමින් පැවැත්තේය. එතෙකුදු වුවත්, 1976 වසරේද ඔහු විසින් ලියන ලද ලිපි කිහිපයක්‌ පුවත්පත් සඟරාවල පළ විණි. "අනුරාධපුර සංස්‌කෘතියට බමුණු වෙස්‌ පිවිසීම" සමරු කලාපය - අනුරාධපුර මහජන පුස්‌තකාලය සඳහා ඉදි කෙරුණු නව ගොඩනැගිල්ල විවෘත වීම නිමිති කොටගෙන පළ වූ ප්‍රකාශනය), "කර්ම වාදය" (බුදුසරණ), "බුදු දහමින් පෝෂණය වූ සිංහල සංස්‌කෘතිය" (බුදු සරණ), "වීර්ය පාරමිතාව" (බුදු සරණ) යන ලිපි කිහිපය, ඒ අතර විය.

කලින් වසරේදී ලියා අවසන් කළ Sinhala Language and Culture පොත පළ වීමෙන් පසුව, සිංහල භාෂා සාහිත්‍යයෙන් අනන්‍යතාව හා ඊට හිමි නිදහස්‌ රීතිය පිළිබඳ වරින් වර ලියන ලද ලිපි එකතු කොට, සිංහලෙන් ද පොතක්‌ පළ කිරීමේ කාර්යයෙහි ඔහු යෙදී සිටියේය. එම ලිපි එකතුව මුද්‍රණයට යෑවීම සඳහා පිටපත් කිරීමේ කාර්යය ඔහු විසින් පවරන ලද්දේ දයාපාල ජයනෙත්ති වෙතය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ අවසාන කාලයේ දී පුවත්පත් සඟරා ආදියට ලියූ ලිපිය. එම ලිපි සැලකිල්ලෙන් යුතුව කියවා සකස්‌ කළ ඔහු, ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය වෙනුවෙන් පොත නම් කොට, එය මුද්‍රණය සඳහා ද සූදානම්ව තැබීය. ඒ අතර උපන්දාසිට කෘතියේ දෙවැනි කොටස වන මහලු විය පිළිබඳ මතක සටහන් ලියන්ටද, කරුණු ගොනු කරමින් සිටියේය. එහෙත් එම පොත ලියන්ට වුව, ඔහුට අවස්‌ථාවක්‌ ලැබුණේ නැත.

ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය යනුවෙන් සකස්‌ කරන ලද ග්‍රන්ථය සඳහා ඔහු විසින් සංඥdපනයක්‌ ලියන ලද්දේ 1976 මැයි මාසයේදීය. එම සංඥdපනයද, එකී කෘතියේ දහඅටවැනියට දැක්‌වුණු "අනුකාරක යුගයේ අවසානය" නමැති කෙටි ලේඛනයද ඔහු විසින් ලියන ලද අවසාන නිබන්ධ සේ සැලකිය හැක්‌කේය.

මාර්ටින් වික්‍රමසිංහ හදිසියේ රෝගාතුර වූයේ, එම පොත මුද්‍රණයට යෑවීම සඳහා සූදානම් කොට තිබියදීය. ඒ, 1976 ජුලි මාසයේදීය. ඔහුගේ අසනීප තත්ත්වය සුළු කලක්‌ නොවෙනස්‌ව පැවතියේය.

ජුලි 23 වැනි දින එළඹුණි. එදින සිය නාවල නිවසේදී ජීවිතයත් ලෝකයත් දෙස තියුණු බැල්මෙන් බැලූ මහා ලේඛකයාගේ දෙනෙත සදහටම පියවුණේය.

මහා ගත්කරුගේ අභාවය ශ්‍රී ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත හැටියට වාර්තා විණි. මාර්ටින් වික්‍රමසිංහ අවසන් හුස්‌ම හෙළුE ජුලි 23 වැනි දිනය, සිකුරාදා දිනයක්‌ විය. පසු දින ලංකාදීප පුවත්පත් සිය මුල් පිටුවෙහි ප්‍රධාන පුවත හැටියට එපුවත් වාර්තා කළ අතර, ඊට පසු දින ශ්‍රී ලංකාදීපයද එම පුවත ප්‍රධාන පුවත හැටියටම පළ කෙළේය. ලේක්‌හවුසියේ පුවත්පත්වල ද එය පළ වූයේ ප්‍රධාන පුවත හැටියටය. මහා ලේඛකයාගේ අභාවය වාර්තා කළ ශ්‍රී ලංකාදීපය, "ඔහු සිංහල විශ්වකොෂයක්‌ බවට පත්ව සිsටියේ වනැ "යි සඳහන් කළේය. සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය විශේෂ ප්‍රකාශයක්‌ නිකුත් කරමින්, "මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අභාවය රටටත් අපේ සංස්‌කෘතියටත් පාඩුවකැයි ද, අපේ ඉතිහාසයේ මහා සාහිත්‍යධරයන්ගේ පරපුරෙහි සදාකාලික හා ගෞරවනීය ස්‌ථානය එතුමාට හිමි වනු නොඅනුමානය" යි ද කියා සිටියාය.

25 වැනි ඉරුදින නාවල නිවසින් පිටත් වුණු අවමංගල රිය පෙරහැර, එදිනම සවස කොග්ගලට ළඟා විය. පසු දින එනම් 26 වැනි සඳු¹ හවස කොග්ගල දී අතිවිශාල මහා ජනකායක්‌ ද ප්‍රභූ පිරිසක්‌ ද මධ්‍යයෙහි මහා ලේඛකයාගේ ආදාහන උත්සවය සිදු කෙරිණි.

දහඅටවැනි සියවසේ වසර දහයක්‌ පුරාද, ඉකුත් විසිවැනි සියවසෙහි වසර හැත්තෑහයක්‌ පුරාද මාර්ටින් වික්‍රමසිංහගේ පිය සටහන් ශ්‍රී ලංකා ධරණි තලය මත රැඳී තිබුණු වග අපගේ ඉතිහාසයට එකතු කරමින්, ඔහුගේ අවසානය එසේ සිදු විය.

මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතාවලින් හෙළිවන බෞද්ධ චින්තනය

කෙටි කතාව යනු කුමක්‌ද යන්න නොදැන සිටි සමයක එහි අරුත අපට පැහැදිලි කර දුන්නේ මාර්ටින් වික්‍රමසිංහයි. කුමාරතුංග මුනිදාස, ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන, හේමපාල මුනිදාස වැනි අය කෙටිකතා නිර්මාණය කළද එම කෙටි කතා කතාවට පමණක්‌ සීමා විය. එහි අවවාද අනුශාසනා ගැබ්වී තිබිණි. එහෙත් කෙටි කතාවකින් අවවාද හා අනුශාසනා දීම නොව සිදුවිය යුත්තේ ගැඹුරු ජිවන දර්ශනයක්‌ මතුවිය යුතු යෑයි වික්‍රමසිංහ හෙළි කළේය. සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශාල කාර්ය භාරයක්‌ ඉටු කළ කෙටි කතාව සිංහල පාඨක ලෝකයාට හඳුන්වාදීමේ ගෞරවය නියත වශයෙන්ම සිදුවිය යුත්තේ වික්‍රමසිංහටය. පෙර අපර දෙදිග කෙටි කතා කියවා එයින් ලත් පරිචය, ප්‍රාගුණ්‍ය හේතුකොට ගෙන හා සිංහල ජාතක කතා කියවා ලත් දැනුම් සම්භාරය මත කෙටි කතාව මෙසේ විය යුතු යෑයි ඔහු පෙන්වා දුන්නේය. කෙටි කතාව බටහිරින් ණයට ගත් දෙයක්‌ යෑයි මහාචාර්ය ඊ. ආර්. සරච්චන්ද්‍ර, මහාචාර්ය විමල් දිසානායක යන අය පවසද්දී එය එසේ නොව අපෙන් බටහිරට ගොස්‌ පසුව එය කලාත්මක ස්‌වරූපයක්‌ ලෙස හැඩගැසුණාය යනුවෙන් අර්ථ විග්‍රහයක්‌ කළේත් වික්‍රමසිංහයි. සිංහල ජාතක පොත මැනවින් පරිශීලනය කොට එම කතා සුගැඹුරෙන් යුතුව විමර්ශනය කොට හොඳ කෙටි කතාකරුවන්ට සිංහල ජාතික පොතෙන් ලබත හැකි ආභාසය ඉමහත් බව ඔහු පෙන්වා දුන්නේය.

විවිධ ක්‍ෂේත්‍රවලින් ලත් අනුභූති ආශ්‍රයෙන් වික්‍රමසිංහ කෙටිකතා පන්සියක්‌ පමණ ලියා ඇති අතර එම කෙටි කතා එකතු කොට වෙළුම් 2 කින් යුත් කෙටි කතා 108 ක්‌ එයට අන්තර්ගත කොට ඇත. මේ කෙටි කතා සියල්ලම විශ්ලේෂණය කිරීම අපහසු හෙයින් බෞද්ධ චින්තනය පමණක්‌ මතුවන කෙටි කතා මේ මගින් විමර්ශනයට භාජන කැරිණි.

"හිස්‌ කබල" බෞද්ධ චින්තනය මතුවන එක්‌ කතාවකි. හිස්‌ කබලෙහි අන්තර්ගත අනුලා ස්‌වකීය රූ සපුවෙන් අතිශය ආඩම්බරයට පත් කාන්තාවකි. රුව පිළිබඳ නිතරම ඇල්ම උපදවා එය වඩාත් ප්‍රබල තලයකට ගෙන ප්‍රභාමත් කිරීමට වෙහෙස වුණු කාන්තාවකි. බෞද්ධ යථාර්ථය යනු කුමක්‌ද නොදැන ගිය ගමනකදී අනුලා අතරමං වේ. රූ සපුව කෙමෙන් දුබලවී, කෙස්‌ පැසී ඇඟ රැළි වැටී අර රූප සෝභාව පහවී යැමේ ස්‌වභාවය තේරුම් ගන්නට තරම් විඥනයක්‌ ඇය කෙරෙහි නොතිබීම පිළිබඳ වික්‍රමසිංහ ඇයට අනුකම්පා කරයි. අනුලා ලෝකෝත්තර සුවයට වඩා ඇල්ම කෙළේ ලෞකික සුවයටය. ජිවිතය සදාකාලිකය. එය වෙනස්‌ නොවන්නේය යන මතයේ රැඳී මායාකාරී ලෝකයක දිවි ගෙව්වාය. ලෝකයේ යමෙක්‌ ඉපදුනහොත් මිය යනවාය, යමක්‌ ඇති වුවහොත් විනාශ වෙනවාය යන නියතය නැත්නම් ධර්මතාව 

ගැන ඇයට අවබෝධයක්‌ නොවීය. වෙසක්‌ පෝයදා වෛද්‍ය සිසුන්ගේ හිස්‌කබලකට බියවූ ඇය තමන්ගේ රුවැති රූපයටත් අත් වන්නේ මේ ඉරණම නොවේද යන්න ඇය පසක්‌ කර ගත්තාය. "මං අද සිල් ගත්තා..." යනුවෙන් පවතින්නට තරම් අනුලා ජීවිතය පිළිබඳව සැහැල්ලුවෙන් සිතන්නටත් අප මේ කරන සියලු දේ නිසරුය යන හැඟීමට පැමිණීම හේතු කොටගෙන ස්‌වකීය මුතුපට විකුණා මුදල් කර අරමුදලේ භාණ්‌ඩාගාරික වෙත යවන ලෙස ලියුමක්‌ද ලියා තම ස්‌වාමියාට බාර දුන්නාය. ඇයගේ මේ වෙනස්‌ වීම ස්‌වාමියාට ද ප්‍රහේළිකාවක්‌ විය."හිස්‌ කබල" කෙටි කතාවෙන් නිරූපිත ජීවිත දර්ශනය සුගැඹුරුය. බොහෝ දේ මෙනෙහි කරන්නට අපට අවකාශ ලබා දෙන්නේය.

වික්‍රමසිංහගේ "උපාසකම්මා" කෙටි කතාවද මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතා හෙළි කරන්නකි. උපාසකම්මා හැම පෝයකටම සිල් ගත්තත් ඇයගේ මසුරු සිත පහව ගියේ නැත. ආශාවන් පොදි බැඳගෙන ජීවත් වූවා විනා සසරින් එතෙර වන්නට මාර්ගය පාදා ගත්තේ නැත. ඇයගේ සීලය නමට පමණක්‌ සීමා විය. "... අම්මා කළේ හැම පෝයටම සිල් ගත්ත එක විතරයි. පසළොස්‌වකටත්, අමාවකටත්, මාසේ පෝයටත් වරද්දන්නෙ නැතිව සිල් ගත්තා. කරගත් පින එච්චර තමයි. සිල් අරගෙන පිළිකුල් භාවනාව කළා. පන්සලට එක දානෙ වේලක්‌ දෙන්න වියදම් කළේ නැහැ" (මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව, 1 වැනි වෙළුම, කෙටි කතා 195 පිටුව) උපාසකම්මාගේ ලේලියගේ මේ වදන් අනුව ගැමි ගතියට සිල් ගත්තත් ඇයගේ කුම්මැහිකම ජීවිතයෙන් පහව ගියේ නැත. පෙට්‌ටගමක්‌ පුරවා නානා වර්ගයේ කම්බා අප්‍රමාණව තිබුණත් ඒ එකක්‌වත් ඇය පරිහරණය කළේ නැත. ඇය ඇඳ සිටියේ ඉරීගිය කඩ මාල්ලකි. පැදුරු ආණේ රටා දැමූ පැදුරු කොතරම් තිබුණත් ඇය එක පැදුරක්‌වත් පරිහරණය කළේ නැත. පැදුරු කඩමාල්ලක ගුලිවී නිදා ගැනීම ඇයගේ සිරිතයි. ජීවිතයේ අවසාන භාගයේ දිවි ගෙවන උපාසකම්මා ලෙඩ ඇඳේ සිටියදී ලේලිය විසින් ගසක පොල් කැඩවූ අවස්‌ථාවේදී පොල් ගෙඩි බිමට වැටෙන ශබ්දයන් ගෙඩි ප්‍රමාණය හැට පහක්‌ විතර තියෙන්න ඕනෑය යන හැඟීම මත ආශාව තුනී නොකළ ආකාරය මෙයින් හෙළි නොවන්නේද.

"අඳුර නමැති කළු රෙදි පොරවාගත්, කවුළුව අසල වූ දෙල් ගස නොකා නොබී නොඇඳ දළ ලොබින් වස්‌තු රැස්‌ කළ උපාසකම්මාගේ ගෙය අත පත ගාගෙන යැමට එබිකම්පාන මහත් කයක්‌ ඇති සොරකු වැන්නද (197 පිටුව) උපාසකම්මාගේ මසුරු සිතට ඇයගේ නිවෙස අසල තිබුණු දෙල් ගසද සරදම් කරන ආකාරය නොවේද මෙයින් හඟවන්නේ. උපාසකම්මා දැඩි මසුරුකමෙන් පොදි බැඳ ගත්තත් ඇයගේ චරිතය පිළිබඳ හොඳ අවබෝධයක්‌ දෙල්ගසට තිබුණු ආකාරය සංකේතවත් කරන්නේ කෙටි කතා කලාවේ එක්‌ අදියරකට පිවිසෙමිණි.

සමාජයේ දෙබිඩි චරිත බොහෝවිට දක්‌නට ලැබේ. නිවෙසට එක චරිතයකුත් බාහිරව තවත් චරිතයකුත් ඇති අය සමාජයේ එමටය. ඒ දෙස බැලූ දෘෂ්ටිය යොමු කළ වික්‍රමසිංහ "අටපිරිකර" කෙටි කතාවෙන් කියා පෑවේත් මිනිසාගේ චිත්ත චෛතසික ගූඪ ධර්මතාවයි.

අටපිරිකරක්‌ පන්සලට පූජා කළ යුතුය. එහෙත් එය තුට්‌ටු දෙකට ගන්නටත් අවශ්‍යය. අටපිරිකර කතාවේ ගබන්රාළගේ චරිතයත් උපාසකම්මාගේ චරිතයත් අතර ඇත්තේ සමතාවකි. සමාජයේ බොහෝ අය පින් කරන්නේ ලෝකමානය උදෙසාය. ලෝකයට පෙන්වන්නට යත්න දරන්නේ තෘෂ්ණාව තුනී කළ දන්දෙන සැදැහැවතකු ලෙසය. එහෙත් යටි සිතෙහි පවතින්නේ තණ්‌හාවයි. තණ්‌හාව පොදි බැඳගෙන ගමන් ගන්නා අයට කරන සමච්චලයක්‌ නොවේද "අටපිරිකර" කෙටි කතාව.

ගතානුගතික ආකල්ප මත දහම කරට ගත්තත් යථාර්ථය නිසි ලෙස අවබෝධ කොට පින් දහම් කරන්නට තරම් විඥනයක්‌, ශ්‍රද්ධාවක්‌ ගබන්රාළ කෙරෙහි නොවීය. මෙයින් ප්‍රතීත වන්නේ යථාවාදී තතාකාරී අයුරින් දහමට නැඹුරු නොවීමේ ස්‌වභාවයයි.

අද්‍යතන සමාජයේ ඇතැම් භික්‍ෂූන් ධර්මය සෙසු අයට දේශනා කළත් ඒ ධර්ම තමන් සමීපයේ නොමැති බව කියා පාන්නකි "මැටි කළය" කෙටි කතාව.

මහානාග හාමුදුරුවන් බුද්ධ ශ්‍රාවකයකු වශයෙන් ලෝකයේ පවත්නා අනිත්‍යතා ධර්මය ලොවට කියා පෑවත් තමන්ට ඒ ධර්මයේ නියෑළෙන්නට හැකිද? එම ධර්මතාව මහානාග හාමුදුරුවන්ට තිබේද? ලෝකයේ යමක්‌ ඇතිවුවහොත් නැති වන්නේය. යමකු මේ ලොවට බිහිවූයේ නම් මිය යන්නේය. මෙයයි බුදු දහම අපට කියා දෙන්නේ. මේ අනිත්‍යතා ධර්මය සම්බන්ධයෙන් මහානාග හාමුදුරුවන් සෙස්‌සන්ට ධර්මය දේශනා කරයි. එහෙත් ධර්මය උන්වහන්සේ කෙරෙහි නොවූහ. ස්‌වකීය පන්සලේ ඇබිත්තයා ළිඳෙන් වතුර ගන්නට ගොස්‌ මැටි කළය අත්වැරදීමකින් බිඳුණි. මේ සිද්ධියට ඇබිත්තයාට තුවාල වන තරම් පහරදී අවසානයේ ඇබිත්තයා නතර වූයේ රෝහලෙනි. මේ සිද්ධියයි "මැටි කළයට" වස්‌තු විෂය වූයේ.

"කෙස්‌ වැටිය" හා "තරුණ භික්‍ෂුව" නමැති කෙටිකතා ද්වයෙන් වික්‍රමසිංහ කියා පාන්නට යත්න දරා ඇත්තේ වැඩිහිටියන්ගේ බල කිරීම මත මහණ වන්නට යොමු කිරීමය. අද්‍යතන සමාජයේ පුංචි දරුවන් මහණ කරන්නට පෙළඹෙන්නේ දරුවන්ට මහණකමට සිත ඇදී යැම හේතුකොට නොවෙයි. එක්‌කො ආර්ථික අඟහිඟකම් මත හෝ පවුලේ පිරිමි දරුවන් බහුල වීම මතය. බොහෝවිට බලපාන්නේ මේ දෙකරුණයි. පැවිදි දිවියට පිවිසිය යුත්තේ ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙනය. එසේ නොවුණහොත් වයස මුහුකුරා යත්ම යම් යම් ආශාවන් මත පැවිදි දිවියෙන් සමුගන්නා ආකාරය එමටය. මෙය කාලත්‍රයේදීම සිදුවන්නකි. "කෙස්‌ වැටිය" කෙටි කතාවේ නාග සෝමත් "තරුණ භික්‍ෂුව" කෙටි කතාවේ නාගානන්දත් යන සාමණේර භික්‍ෂූන් දෙදෙනාම පැවිදි දිවියෙන් සමුගන්නට හේතු වූයේත් අවබෝධයෙන් තොරව වැඩිහිටියන්ගේ බල කිරීම මත පැවිදි දිවියට පිවිසීම නිසාය.

කෙස්‌ වැටියේ අන්තර්ගත නාගසෝම සාමණේර නම ධර්මය දේශනා කිරීමේ ශූරයෙකි. බණ අහන්නට පැමිණි මල්ලිකා නමැති තරුණිය කෙරෙහි පිළිබඳ සිතක්‌ නාගසෝම හිමිට ඇතිවිය. එකට පාසල් ගිය එකට පන්තියේ සිටි මල්ලිකා කෙරෙහි සිත් බැඳගත් නාගසෝම හිමියන්ගේ මහණ දම් කෙමෙන් පිරිහී ඇය කෙරෙහි ආශාවක්‌ ඇතිවී, ඇයට ලොල්වී ඇය විවාහ කර ගන්නට තරම් සිතක්‌ පහළ විය. "... ආශා කරන දෙය නොලැබීම නිසා ඇතිවන දුකින් ඔහුගේ සිත මීට පෙර තවනු නොලැබීය. ඉන්ද්‍රියන් කෝප කරනු ලැබූ අවස්‌ථාවක මල්ලිකා දැන හැඳින ගැනීමෙන් චණ්‌ඩ මාරුතයට හසුවුණු ජලාසයක්‌ සේ ඔහුගේ සිත චංචල විය" (431 පිටුව) නාගසෝම මෙවන් තත්ත්වයකට පත්වූයේ ජීවිතය කලකිරීමෙන් ලත් අත්දැකීම් මත නොවූ නිසාය. "අර හීරළුවා වෙන්න ඇති" (434 පිටුව) යන වදන් මල්ලිකාගේ මුවට වික්‍රමසිංහ නැඟුවේ ගිහි ජීවිතයේ දුක්‌ ප්‍රවාහයෙන් නාගසෝම අත්දැකීම් නොලත් නිසාය.

ලෝක ස්‌වභාවය ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කොට ගත් පුද්ගලයා කෙරෙහි දෙබිඩි චරිතයක්‌ නොමැත. ප්‍රතිපත්තිගරුකව තමන් කෙරෙහි පවත්නා ආශාව තුනීකොට සසරින් කෙසේ හෝ නික්‌ම නිවනට ළඟා වන්නට යත්න දරයි. එසේ නොමැතිව වංචනික ධර්ම මත දිවි පෙවෙත ගෙන යැමෙන් විනාශයට පත් වන්නේ පුද්ගලයාමය. මේ ධර්මතාවයි වික්‍රමසිංහ මේ කෙටි කතාවලින් උද්භාවනය කළේ.

බෞද්ධ චින්තනය හඟවන තවත් කෙටි කතා වික්‍රමසිංහ විසින් ලියන ලදී. මුදියන්සෙ මාමා, මරණය, බබාගේ වෙසක්‌ පහන, කෙඳිරි ගෑ මළකඳ, ධාතු කෝලාහලය, රන් පිළිමය, වහල්ලු, කනත්ත, සිල්වතා, උපාසකයා ආදී කෙටි කතා වලින් හුවා දැක්‌ වූයේත් බෞද්ධ යථාර්ථයයි.

නූතන කෙටි කතා ක්‍ෂේත්‍රය අවරෝහණ කරා යන අවධියක කෙටිකතාකරුවාගේ කාරිය කුමක්‌ද? කෙටි කතාවකින් දවනිත විය යුත්තේ කිනම් අරුතක්‌ද යන්න සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද කෙටි කතා සමුදාය පරිශීලනයෙන් මැනවින් අවබෝධ කොට ගත හැකිය.

අද කෙටිකතාකරණයට පිවිසෙන අය පෙර අපර දෙදිග කෙටිකතාකරුවන්ගේ (සම්භාව්‍ය ගණයට ගැනෙන) කෙටි කතා පරිශීලනය නොකිරීම බලවත් ඌනතාවක්‌ යෑයි සිතමි. ලියෝතොලොස්‌තෝයිගේ "පොත් කෑල්ල" නමැති කෙටි කතාව ඉතාම සුළු සිද්ධියක්‌ පාදක කොටගෙන රචිත කෙටි කතාවකි. එම සිද්ධිය පුද්ගලයකුගේ මරණය පවා සිදුකරන්නට තරම් සමත් විය.

මාර්ටින් වික්‍රමසිංහ විවිධ විෂයයන්හි පෙළහැර පෑවා සේ කෙටිකතා ක්‍ෂේත්‍රයේත් පෙළහැර පෑවේය. ජී. බී. සේනානායක හොඳ ගණයට ගැනෙන කෙටි කතාකරුවෙක්‌ බවට පත් කළේත් වික්‍රමසිංහයන්ය. සිළුමිණ කර්තෘ පදවියේ සිටි සමයේ සේනානායක කෙටිකතා ලියාගෙන මාර්ටින් වික්‍රමසිංහට ගෙනත් දුන් අවස්‌ථාවේදී ඒවා කපා කොට සකස්‌ කොට සිළුමිණේ පළ කිරීමෙන් සිදුකළ මෙහෙය සෙසු කතුවරුන්ටද පරමාදර්ශී සිද්ධියකි. වික්‍රමසිංහ කෙටි කතා විඥනය අදටත් වඩා ඵලදායි වන්නේ හෙට දවසටය යනුවෙන් සඳහන් කරන්නේත් ඒ නිසාය.

හෙළයේ මහා ගත්කරුගේ විදු ඇස 

අධිරාජ්‍යවාදී බලවේගයන්ට නතුව ජාතික අනන්‍යතාව, දේශීයත්වය අහිමිව අයාලේ යමින් සිටි ජාතියක්‌, ජාත්‍යාලයෙන් ඔද වැඩී දේශීය චින්තනයක්‌ සතු ජාතියක්‌ ලෙස ගොඩ නැගීමට උරදුන් සාහිත්‍යධරයන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. 20 වැනි සියවසේ ඇරඹි ඒ මෙහෙවර ඔහු නොයෙකුත් මංපෙත් ඔස්‌සේ විහිදුවීය. සාහිත්‍යය, ඉතිහාසය, බුදුසමය, විද්‍යාව වැනි ඉසව් ඔස්‌සේ සාමාජීය පෙළගැස්‌මකට දොරගුළු විවර කිරීමකට ඔහු සමත් වූවායෑයි කිවහොත් නිවැරදිය. ඉන් නොනැවතුන ඔහු විදු ඇසකින් ලොව බැලීමට ගත් උත්සාහයද අගය කළ යුතුය. දකුණු ලක කොග්ගල නම් සුන්දර ගම්මානයේ උපත ලද මේ අව්‍යාජ ගැමියා ස්‌වෝත්සාහයෙන්ම ලබාගත් දැනුම ක්‌ෂේත්‍ර රාශියක්‌ පුරා විහිද පතුරවන්නට සමත් කමක්‌ දැක්‌වීය.

ඔහු විසින් රචනා කරන ලද බොහෝ ග්‍රන්ථ, ලිපි සාහිත්‍ය, ඉතිහාසය, බුදුසමය, දර්ශනය මත පදනම් වුවද විද්‍යාව කෙරෙහිද දක්‌වන ලද්දේ මහත් අභිරුචියකි. 1916 තරම් ඈත කාලයක ශ්‍රී ලාංකිකයන් අතර එතරම් විද්‍යාත්මක ප්‍රබෝධයක්‌ නොතිබුණ සමයක එම්. ඩබ්ලිව් නම් අන්වර්ථ නාමයකින් ඔහු දිනමිණ පුවත් පතේ පළකළ "වෘක්‌ෂලතා හා සත්වයෝ" යන ලිපි පෙළ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක කරුණු අරභයා ලියන ලද පළමු ලිපි පෙළ ලෙස ඉතිහාසගතවේ. මේ ලිපි පෙළ පුරාම ඔහු තමන් විසින් අධ්‍යයනය කරන ලද කරුණු එකළ සමාජයේ පැවති අදහස්‌, විද්‍යාත්මකව තහවුරු කරන ලද කරුණු සහ බුදු සමය ඉතා මැනවින් සංයෝජනය කරමින් අර්ථවත් ලිපි පෙළක්‌ ලෙස එකල සමාජයට තිළිණ කරන්නට සමත් විය.

විද්‍යාත්මක කරුණු පිළිබඳ වූ පිපාසය නිතැතින්ම ඔහුට ලැබෙන්නට ඇත්තේ ඔහු ජීවත් වූ මනරම් කොග්ගල ග්‍රාමයෙන් වන්නට ඇතැයි සිතීම යුක්‌ති සහගතය. කුඩා කල සිටම ගවේෂණාත්මක චරිතයකට උරුමකම් කී එතුමන්, ඒ ආශාව තවදුරටත් වඩා වර්ධනය කරගන්නා ලද්දේ පොත් පත් පරිශීලනයෙනි. විද්‍යාත්මක කරුණු අධ්‍යානයේදී ඔහු වඩා වැඩි ප්‍රියතාවක්‌ දක්‌වා තිබුණේ ජීවයේ විකාශය හෙවත් පරිණාමවාදයටය. "පරිණාමවාදය" යන වදන සිංහලයට හඳුන්වා දුන් එතුමන්, "පරිණාමධර්මය" නම් ලිපි පෙළක්‌ තුළින් ද පරිණාමවාදය සමාජගත කිරීමට පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළේය. පරිණාමවාදය පිළිබඳව ඔහු තුළවූ ගැඹුරු අවබෝධය ඔහු විසින් 1934 දී රචනා කරන ලද "සත්ත්ව සන්තතිය" කෘතියෙන් මනාව පිළිබිඹු වේ. , පුරා විද්‍යාව,ජීව විද්‍යාව,පුරා ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යා හා විවිධ ආගමික මතවාද වැනි එකිනෙකට බොහෝ වෙනස්‌කම් දක්‌වන්නාවූ විෂය ධාරාවන් කිහිපයක්‌ මනාලෙස හසුරවමින් පරිණාමවාදය පිළිබඳ එකළ සිංහලෙන් ලිsයවුන හොඳම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් සිය විදග්ධභාවය හේ මැනවින් නිරූපණය කළේය.

පරිණාමවාදය පිළිබඳ ඔහු දැක්‌වූ මහත් අභිරුචිය ඔහු විසින් රචනා කරන ලද "මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය" ග්‍රන්ථයේ එන "පරිණාමවාදය වනාහී අද්භූත කථාවක්‌ මෙන් සිත්ගන්නා විද්‍යාත්මක දර්ශනයකි. ලෝකයත්, සත්ත්ව වර්ගයාත් ගැන යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට අප හික්‌මවන්නකි පරිණාමවාදය" යන කියමනෙන් පැහැදිලි වේ. ඒ මතුද නොව සිංහල සාහිත්‍යයේ අග්‍රගන්‍ය නවකථා මාලාවක්‌ වන " ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය" යන කථා තේමාවන් තුන පුරාම යටින් දිවෙනුයේ පරිණාමවාදයේ එන ස්‌වභාවික වරණය යන කරුණ බව එය හොඳින් අධ්‍යයනය කරන අයකුට වැටහෙන කරුණකි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව පුරා ස්‌වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ජාති භාෂා නොතකමින් නවෝදයක අරුණාලෝකයක්‌ මෙන් රට මුZළුල්ලේම විසිරී පැතිරී ගියේය. එහිදී විද්‍යාව ස්‌වභාෂාවෙන් ඉගැන්වීමේදී ඇතිවූ ප්‍රධානතම ගැටලුව වූයේ බෙහෝ තාක්‍ෂණික යෙදුම් සඳහා සුදුසු සිංහල වදන් නොතිබීමය. ස්‌වභාෂාවෙන් විද්‍යා විෂයයන් සමාජගත කිරීමට නම් පවතිනා මතු නොව අනාගත අවශ්‍යතාද සපුරාලිය හැකි වදන් සොයාගැනීම ඉතා වැදගත් වූ අතර එවැනි වටිනා අර්ථවත් වදන් රාශියක්‌ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ස්‌වකීය භාෂා ඥනයෙන් දැයට දායාද කරන්නට සමත් විය. ඔහු විසින් විද්‍යාව පාදක කර රචනා කළ ග්‍රන්ථ, ලිපි තුළින් එවැනි නව වදන් හැකි තාක්‌ එකතු කළ අතර ඔහු සෑම විටම තැත් කළේ එදිනෙදා ජීවිතයේ ව්‍යවහාර කරන වදන් තුළින් විද්‍යාත්මක වචන වලට අරුත් දීමටය. එය අධ්‍යයනයේ යෙදෙන්නකුට උපකාරී වන්නේ එවැනි වදන් තමන්ට හුරුපුරුදු ඒවා වීමය. සංස්‌කෘත බස පදනම් කරගනිමින් නව වදන් සිංහලට එකතු කිරීම එතුමන් ප්‍රතික්‌ෂේප කළ අතර 1972 වසරේ සිළුමිණ පුවත්පතට ලියූ "මුල් සිඳගත් අපේ උගත්තු" නම් ලිපියෙන් එවන් ප්‍රයත්නයන් තදබල ලෙස විවේචනය කර තිබිණ.

රටක්‌ සතු වටිනාම සම්පත අන් කවරක්‌වත් නොව ඒ රටේ ළමා පරපුර බව මැනවින් වටහාගත් අතලොස්‌සක්‌ වූ දූරදර්ශී බුද්ධිමතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ද වන්නේය. එහෙයින්ම ඔහු,

"කුරුමිණි සත්තු" "කුරු කුහුඹු සත්තු" "වෙස්‌ මාරු කරන සත්තු" "මුහුදු වෙරළ" "සත්ත්ව ලෝකය" "විද්‍යා විනෝද කථා" වැනි ළමා ග්‍රන්ථ සම්පාදනය කරමින් එවක සිටි ළමා පරපුර තුළ විද්‍යා ප්‍රබෝධයක්‌ ඇති කොට අනාගතයේ අභියෝග භාර ගැනීමට සමත් පිරිසක්‌ ඇති කිරීමට දරන ලද ප්‍රයත්නය සැබවින්ම ප්‍රශංසා කටයුතුය. ගැඹුරු දාර්ශනික පදනමක්‌ ඇති ග්‍රන්ථ, ලිපි ලිවීමට දැක්‌වූ සමර්ථතාවෙන් රට තුළ කීර්තියක්‌ උපදවාගෙන සිටි එතුමන්, මේ ළමා පොත් තුළින් ළමුන් අමතා ඇත්තේ ඉතා සුඛනම්‍ය, කියවීමට ප්‍රිය උපදවන භාෂා ශෛලියකිනි. එදිනෙදා දිවියේදී තමා අවට පරිසරයේ මුණගැසෙන ශාක, සතුන් ගැන මනා දැනුමක්‌ මේ ග්‍රන්ථ පරිහරණයෙන් අද දවස ළමයකුට වුව ලැබිය හැක.

මනාකොට වූ භාවිතාවෙන්ම බහුශ්‍රැත භාවයට පත් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් බුදු සමය, සාහිත්‍යය හා නවීන විද්‍යාව ගැන කරන ලද ග්‍රන්ථ, ලිපි ආදිය බොහෝ වන අතර මේ කරුණු එක්‌තැන් කරමින් රචිත මානව විද්‍යාව හා සිංහල සංස්‌කෘතිය (1974), පරිණාමවාදය හා බෞද්ධ විඥණය (1974) හා සිංහල ලකුණ (1947) වැනි ග්‍රන්ථ මෙන්ම ආගම හා නවීන විද්‍යාව (1945), බුදු සමය හා විද්‍යාව (1948) හා විද්‍යාව, බුදු සමය හා සාහිත්‍යය (1966) වැනි ලිපි තුළින් ඒ ඒ විෂයයේ වෙන් වෙන්ව ලබාගත් ප්‍රාගුණ්‍යයත් එම කරුණු අර්ථවත් ලෙස මුසුකොට පාඨකයාගේ ප්‍රඥව වර්ධනය කිරීමට දක්‌වන ලද සමත් කමත් පැසසිය යුතුමය. යම් කරුණක්‌ හුදෙක්‌ සමාජයේ වූ පමණින් පිළිනොගෙන විචාර බුද්ධිය, ප්‍රඥව මෙහෙයවා එය යුක්‌තියුක්‌ත නම් පිළිගැනීමට ඔහු සෑම විටම පාඨකයා පෙළඹවීය. 

මාර්ටින් වික්‍රමසිංහ මහතා කිසිකලෙකත් බුදු දහම හා නවීන විද්‍යාව සන්සන්දනය කිරීමට තැත් නොකළේය. ඒ බව ඔහු ලියූ "සිංහල ලකුණ" ග්‍රන්ථයේ එන, "මා මේ ලියන්නේ ආගම හා විද්‍යාව යන දෙක තුලනාත්මකව පරීක්‍ෂණයකට භාජනය කරනු පිණිස නොව ඒ දෙකින් කවරක්‌ වූQවද නගා අනෙක හෙළනු පිණිස ඒ දෙක සැසඳීම වැරදිය යන බව නගනු පිණිසය" යන කියමනෙන් පැහැදිළිවේ. තවද එකළ සමාජයේ වූ අදහස්‌ පිළිබඳ ඔහු දැක්‌වූ විවේචන එම කරුණු පහත් කොට සැලකීමක්‌ නොව සමාජයට, යමක්‌ විචාර බුද්ධියෙන් සිතීමට හුරු කිරීමට දරන ලද උත්සාහයක්‌ බව අන්තවාදීව නොසිතන ඕනෑම අයකුට වැටහේ. මෙවැනි යථාවබෝධයකින් යුතු සාහිත්‍යධරයන් මෙන්ම විද්‍යාව හැදැරූ අයද අප සමාජයේ එදා මෙන්ම අදද ඉතා විරලය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විද්‍යාවේ ඇති වැදගත්කම වටහාගත් බුද්ධිමතෙකි. විද්‍යාවේ දියුණුව රටේ ප්‍රගමණය ඇති කරන බව පෙන්වාදුන් ප්‍රාඥයෙකි. කාලයට හැඩ ගැසෙමින් කාලයත් සමග ඉදිරියට යා යුතු බව අවබෝධකරගත් වියතෙකි. විද්‍යාව අරභයා මතු නොව ඔහු කල සෑම නිර්මාණයකින්ම පාඨකයා ආනන්දයෙන් ප්‍රඥව කරා රැගෙන යැමට සමර්ථ වූයේය. මේ නයින් බැලූකළ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් "හෙළයේ මහා ගත්කරු" ලෙස නොව "විචාර බුද්ධියකින් යුතු හෙළයේ මහා ප්‍රාඥයා" යෑයි කීම අතිශෝක්‌තියක්‌ නොවන බව ඕනෑම අයකුට වටහා ගත හැක.

කෘති ලැයිස්තුව

නවකතා

  • ලීලා - 1914
  • සෝමා - 1920
  • අයිරාංගනී - 1923
  • සීතා - 1923
  • මිරිඟු දිය - 1925
  • උන්මාද චිත්‍රා - 1929
  • රෝහිණී - 1929
  • ගම්පෙරළිය - 1944
  • මඩොල් දූව - 1947
  • යුගාන්තය - 1949
  • විරාගය - 1956
  • කලියුගය - 1957
  • කරුවල ගෙදර - 1963
  • බවතරණය - 1973

කෙටිකතා

  • ගැහැනියක්
  • බිල්ල සහ අපූරු මුහුණ
  • මගේ කථාව
  • මගුල් ගෙදර
  • හද සාක්කි කීම
  • වහල්ලු
  • පව්කාරයාට ගල් ගැසීම
  • අපේ විත්ති
  • කතා අහුර

ජීවිතය ඇසුරින්....

  • කළුනික සෙවීම
  • අපේගම
  • උපන් දා සිට

දෘෂ්‍ය කාව්‍ය....

  • විජිතා
  • මයුරි
  • චිත්‍රා

විචාරාත්මක නිබන්ධ .....

  • විචාර ලිපි
  • ගුත්තිල ගීතය
  • සාහිත්‍ය කලාව
  • සිංහල විචාර මග
  • බණ කතා සාහිත්‍යය
  • කාව්‍ය විචාරය
  • නව පද්‍ය සිංහලය
  • සාහිත්‍යෝදය කතා
  • ඇත්ත යුත්ත
  • සම්ප්‍රදාය හා විචාරය
  • ජාතක කතා විමසුම
  • රස වාදය හා බෞද්ධ කාව්‍යය
  • සිංහල සකස්කඩ

* සිංහල ලකුණ

  • සිංහල සාහිත්‍ය යේ නැගීම
  • නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය
  • අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ
  • පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇදුම්
  • බෞද්ධ දර්ශනය හා මාර්ගය
  • බුදු සමය හා සමාජ දර්ශනය
  • භව කර්ම විකාශය
  • අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිනාමය

ජීව විද්‍යාත්මක ග්‍රන්ථ .....

  • සත්ත්ව සන්තතිය
  • ග්‍රාමීය විද්‍යා ප්‍රවේශය

පාඨශාලා පොත්...........

  • සාහිත්‍ය ශික්ෂා
  • විද්‍යා විනෝද කතා
  • ප්‍රජා පාලන ශික්ෂා
  • සදාචාරය හා නිරෝගී සම්පත

{ 6 comments... read them below or Comment }

  1. Thank you for this blog. It is a complete review of our most revered author.

    ReplyDelete
  2. Thank u for this informations. Very very important informations. Thank u sooooo much .🥳🥳❤️❤️

    ReplyDelete
  3. සාහිත්‍ය කලාව පොත pdf නැද්ද ?

    ReplyDelete
  4. 😇🥳💗💗💗👍👍👍👍

    ReplyDelete

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

ලිපි ගොනුව

Blog Archive

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks