Archive for April 2014

ජනශ්‍රැතිය, එහෙමත් නැත්තං ජන කවි හා ජන කතා කියන්නෙ ඕනෑම රටක පාරම්පරික ඥානය,ශිෂ්ටාචාරය,සංස්කෘතිය,ආචාර ධර්ම,විශ්වාස,සිතුම් පැතුම් වගේම ආගම ආදී බොහොමයක් දේවල් ඉතා සරල විදිහට පිළිබිඹු කරන්න මහඟු කාර්යය භාරයක් ඉටුකරන සාහිත්‍යමය අංගයක්.ජනතාව අතරින්ම බිහිවෙලා ඔවුන් අතරම වර්ධනය වෙලා ඔවුන් අතරම පැතිරිලා මුඛ පරම්පරාගතව පැවතගෙන එන නිසා ජනශ්‍රැතිය කියලා නම් ලැබෙන්න ඇති.බොහෝ විට සඳහන් වෙන්නෙ ජන කතාවට වඩා ජන කවිය පැරණියි කියලයි.ඒ වගේම කතාවට වඩා දිගු කාලීන පැවැත්මක් ජන කවියට තියෙනවා.ජන කවියේ උපත ගැනත් නිශ්චිතම විග්‍රහයක් දැනට නැතත් ජන කවියාම ඒ ගැන යම් යම් ඉඟි ලබා දුන් අවස්ථා නැතුවාම නෙවෙයි. මේ ඒ ව‍ගේ අවස්ථා කිහිපයක්

අහස උපන් තැන සකි නුඹ දන්නවද 
පොළව උපන් තැන සකි නුඹ දන්නවද 
මුහුද උපන් තැන සකි නුඹ දන්නවද 
සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද

අහස උපන් නේ අස්‌විදයෙන් නොවෙද 
පොළව උපන්නේ පුවපටයෙන් නොවෙද 
මුහුද උපන්නේ මුව සිරසෙන් නොවෙද
සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද

ගාල සක්‌වලේ වැසි පවනේ දෙවිදා
දහසක්‌ විලේ හැම දෙවියෝ එක්‌ වුනදා 
නාද කෙළේ පන්සික වීණාව සදා 
සීපද මුලේ වීණාවෙන් උපනි එදා

ජන කවිය බොහෝ විට යොදා ගැනුණේ ගැමියාගේ ජීවන රටාවත් එක්ක ඔහුට ඇතිවන පාළුව,කාන්සිය මඟහරවා ගන්න සහ සන්නිවේදනය සඳහා.පතල් කවි,පාරු කවි,පැල් කවි,නෙලුම් කවි,අන්දරේ කී කවි,උඩැක්කි කවි ආදී බොහෝ වර්ගීකරණයන් යටතේ ජන කවිය දිව යනවා.
බොහෝ විට බුදුදහමින් පෝෂණය වූ සිංහල ජනකවියා ඇතැම් දහම් කරුණුද ගැටපද ආකාරයෙන් සිත්ගන්නාසුළු ලෙස කවියට නඟලා තියනවා.

බොහෝ දෙනෙක් දන්නා ප්‍රකට කවි කිහිපයක් පත්තරේකින් මම උපුටා ගත්තා


ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
ඇල්මෙන දෙවියනේ වෙල් බත බුදින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ

ඒකෙ කියවෙන විදිහට මෙහි සඳහන් වන හිමවත කියන්නෙ ජීවිතය.අපි ජීවිතය ලස්සනයි කියලා දකින්නෙ අපි තුල ඇතිවෙන රාග මෝහ තණ්හා ආශා ඉටුවෙන තරමටයි.ඒ විදිහට පසිඳුරන් ගැන අරමුණු ඇතිවෙන්නෙ හිමවතේ පැසෙන මා වී වගේ.ඒ අරමුණු වලට සත්ත්වයා ආශාවක් උපදවනවා.ආශාවන් නිසා දුක ඇතිවෙනවා.ඒ ආශාවන් අලි ඇතුන් වගේ.එනිසා ඔවුන් පලවා හැරිය යුතුයි.ඒත් සත්ත්වයා පසිඳුරන්වලට ඇල්මෙන් ඒ දුකේම ඇලී ගැලී ඉන්නවා.ඒ නිසා දුකෙන් මිදෙන්නෙ නෑ.ඒ දුකට පත්වීම නිසා සසර පුරාම ජීවිත පැල හෙවත් පංචස්කන්ධය රකිමින් ඉන්නවා.

ඔන්න ඔහොමලු කවිය අර්ථ දැක්වෙන්නෙ

තවත් ඒ වගේ කවියක් තමයි

අම්බලමේ පිනා පිනා
වළං කඳක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා

මේකනම් ගොඩක් දෙනා දන්නවා ඇති.කෙටියෙන් කියන්නම් ඒ නිසා. මෙහි අම්බලම කියන්නෙ සංසාරය.පිනා කියල කියන්නෙ මිනිස් භවයක් ලබන්න තරමි පින් කරපු අය.වළං කඳ කියන්නෙ කර්ම ඵල කියල එක් තැනකත් අපි පාවිච්චි කරන සියළු වස්තුන් කියලා තව තැනකත් පංචස්කන්ධය කියලා තව තැනකත් ලියවිලා තිබුනා.මමත් හරියටම දන්නෙ නෑ ඒකනම්.ඊලඟට මෙහි ගො නා කියන්නෙ “ගෞතම නායක” කියන අදහසින් බුදුරජානන් වහන්සේට.හිනා කියන්නෙ සැනසීම,සතුට වගේ අදහසකින්.ඒ කියන්නෙ සංසාරෙ පිනෙන් ලබපු මනුසත් භාවයෙදි කරන ලද කර්ම බුදුරදුන් විසින් ප්‍රහීන කලා.එයින් සතුටක් සැනසීමක් ලැබුනා වගේ අර්ථයක් තමයි මේ කවියෙ තියෙන්නේ.

තවත් රසවත් කවි යුගලයක් මම උපුටාගත්තා

ගුරු හාමි ඇද වැටිලා කකුළු වලේ
හඳ හාමි බඩු කිරුවා වෙළෙද සැලේ
රතු හාමි වැඳ හිටියෙ ‍මෝර වලේ
කළු හාමි ජබුං කියා වැටුණි කලේ

මනමාලයා මාළුවො මැද තනි වෙච්චී
සොමි පුතු අනේ එළු ගාලට මැදි වෙච්චී
සල් උයනකදි දෙව් බඹු මුන ගැස්සිච්චි
ගෝතම කුමරු මහ පෝයට ඉපදිච්චි

අනුමාන කරන්න පුළුවන්ද මොකද්ද කියලා?
මෙම ජනකවි දෙකේ දැක්වෙන්නේ සිදුහත් කුමරුගේ උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා කටකයෙහිද,සඳු තුලාවෙහිද,කුජ මකරයෙහිද,ශනි කුම්භයෙහිද,සිකුරු මීනයෙහිද,බුධ මේෂයෙහිද රාශිගතව තියෙන බවයි.

මේ ආකාරයට ජනකවියා පුළුල් පරාසයක් ඇතුලෙ තමන්ගෙ නිර්මාණ සිද්ධ කරලා තියෙන බව අපට පේනවා.
෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks