ලිපිය පල කළේ : Unknown Thursday, March 13, 2014

දිගු කලක් තිස්සේ පළ නොවූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසිකය’ යළිඳු වරක් සාහිත්‍ය අනුමණ්ඩලයේ වත්මන් සභාපති බුද්ධදාස ගලප්පත්ති ප්‍රමුඛ සංස්කරණ මණ්ඩලයක් මඟින් මේ වසරේ සිට නැවත පළකොට තිබේ.

පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි, මුහන්දිරම් කේ.එච්. ද සිල්වා අභයසිංහ විජයශ්‍රීවර්ධන, ලීල් ගුණසේකර සහ පී.බී. සන්නස්ගල යන විද්වතුන් අතින් මුල් අවධියේ සංස්කරණය වූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසිකය’ සාහිත්‍යකාමින්ගේ හා සාහිත්‍ය ගවේෂණ පි‍්‍රය විද්වතුන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක් වූවකි.

’සාහිත්‍ය තෛ‍්‍රමාසිකය’ ට අමතර ව මෙරට සාහිත්‍ය වංශ කතාවේ පොලොන්නරු යුගයට අයත් ගද්‍ය, පද්‍ය නිර්මාණ පිළිබඳ ව විමර්ශනය කෙරෙන ‘සාහිත්‍ය - විශේෂ කලාපය’ ද මේ සමඟ ම නිකුත් විණි. සාහිත්‍ය විශේෂ කලාපයේ පළකොට තිබූ ‘කෙටිකතාව හඳුනා ගැනීම’ යන මැයෙන් මහාචාර්ය සෝමරත්න බාලසූරිය ලියූ ලිපියක් පහත ඉදිරිපත් කෙරේ.

කෙටි කතාව හඳුනා ගැනීම.

සාහිත්‍යය පිළිබඳ නිර්වචන හෝ වාදයන් බිහි වන්නේ කිසියම් කාල පරිච්ඡේදයක බිහි වූ උසස් නිර්මාණ අධ්‍යයනය කිරීමෙනි.

අනතුරු ව බිහිවෙන සෑම නිර්මාණයක් ම ඉහත නිර්වචනයන්ට නව අරුතක් එක් කරයි. විචාරය සිදු වන්නේ නිර්වචන හා විචාරවාදයන් ඇසුරෙන් නිසා විචාර සිද්ධාන්ත හෝ නිර්වචන ඉක්මවා කෙරෙන නිර්මාණය විචාරකයන් මෙන් ම පාඨකයා ද කිසි යම් අපහසුතාවයකට පත් කෙරේ.

මේ තත්ත්වය නිර්මාණකරුවාට ද බලපායි. අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙකු වූ පිකාසෝට ඔහුගේ අමුර්ත චිත්‍ර පේ‍්‍රක්ෂකයින් හා විචාරකයින් ප්‍රතික්ෂේප කළ විට ඒවා නව නිර්මාණ සේ තහවුරු කිරීමට විශාල වැර වෑයමක් දැරීමට සිදු විය. වැන්ගෝ චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර ඔහු මිය යන තෙක් නිසි ඇගයීමකට ලක් වූයේ නැත.

අසම්මතවාදී නාට්‍ය කරුවෙකු වූ ෂන් ජෙනෙගේ ප්‍රථම නාට්‍ය වේදිකා ගත වූ අවස්ථාවේ වේදිකාවට ගිනි තබන ලදි.

දෙවන ලෝක සංග්‍රාම සමයේ බිහි වූ ප්‍රංස නව කථාකරුවෙකු වූ ලුයි ෆර්ඩිනන්ඩ් සෙලිනි විසින් ලියන ලද නව කථා, ඇගැයීමකට ලක් වූයේ ඔහු මිය ගොස් දශක තුනකටත් පසුව ය. මෙයින් පෙනී යන්නේ සාම්ප්‍රදායික නිර්වචන හා නව නිර්මාණ අතර නිතර ම ගැටුමක් පවතින බවයි.

නිර්වචන හැදෑරීම ලේඛකයකුට ප්‍රයෝජනවත් විය හැකි වුවත්, නිර්වචන අනුව ම ලේඛකයකු නිර්මාණකරණයේ යෙදුණහොත් නිර්මාණකරණයේ ප්‍රගතියක් ඇති නොවේ. එහෙයින් නිර්මාණකරුවකුට නිර්වචන හැදෑරීමට වඩා උසස් ගණයේ නිර්මාණ පරිශීලනය කිරීම වඩාත් වැදගත් වේ.

ලියන්නේ මොනවාද කුමට ද යන ප්‍රශ්නය ද අප සැලැකිල්ලට ගත යුතුයි. සමහරු ආත්ම තෘප්තිය සඳහා ද ආත්ම ලාභය සඳහා ද ලියති.

ඇත්ත වශයෙන් ම ලිවිය යුත්තේ කෙනෙකුට නොලියා සිටීමට නොහැකි වූ විටයි. තවත් විදියකින් කිවහොත් හොඳ සමාජ නිරීක්ෂණයකින් ජීවත්වන ලේඛකයකුට ඒ සමාජයේ පවත්නා හාස්‍යජනක තත්ත්වය අවබෝධ වේ.

දේශපාලනයේ ව්‍යාජය හෝ විපරීතභාවය පෙනේ. බැලූ බැල්මට යාන වාහන, ගෙවල් දොරවල්, ධන ධාන්‍ය, කීර්තිය සමඟ ජීවත්වන අය සිටිති. ඔවුනගෙන් ඇතැමෙකුට ඇති සංතුෂ්ටියක් නැත. ස්වභාවයෙන් මිනිසාට අයත් වන මහ මුහුද, ඇළ දොළ, ගංගා, කඳු, හිරු එළිය, ජලය, ස්වභාව සෞන්දර්ය අප අත ළඟ ඇතත් මේ කිසිවකින් පලක් නොගෙන බොහෝ දෙනා මිය යති.

බොහෝ දෙනා සතුටින් ජීවත් වෙන්නට සැරසෙති. සැරසීමක් මිස ජීවත්වීමක් නැත. සමාජයේ යථාර්ථය දැකිය හැක්කේ මේ හාස්‍යජනක තත්ත්වය අවබෝධ කර ගැනීමෙනි. එහෙයින් ලේඛකයා ද, මේ විපරීත ලෝකයේ ම ජීවියකු වුව ද, ඔහුට ඉන් ඔබ්බෙහි සිට, වෙනත් මානයකින් මේ කරුණු කාරණා නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබේ. සම්මතයේ හෝ සම්ප්‍රදායේ ඇලී ගැලී ජීවත් වන්නෙකුට හොඳ නිර්මාණකරුවකු විය නොහැකි ය. ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ චරිතාපදාන කියැවීමෙන් මෙය අවබෝධ කර ගැනීමට පුළුවන.

කෙටි කතාව නැතහොත් නිර්මාණයට පාදක වන්නේ කර්තෘවරයා ලබන ලද අත්දැකීම් ය යන්න සම්මත වී ඇති මතයකි. අත්දැකීම් යනු මොනවා ද? පෞද්ගලික අත්දැකීම් තිබේ. සමාජය හා බද්ධ ව අත්දැකීම් තිබේ. මේවා නිර්මාණකරණය සඳහා තෝරා ගන්නේ කෙසේ ද? අත්දැකීම් යනු පෞද්ගලික විඳ දරා ගැනීමකි.

ඒ අත්දැකීමේ ඇලී ගැලී නිර්මාණයක් කරන්නේ නම් එහි “නිර්මාණය” යන්න ගිලිහී යාම වැළැක්විය නොහැකි ය. නිර්මාණය කල්පිතයකි. කල්පිතය යයි කී විට එය නිසරු දෙයක් යැයි කෙනෙකුට ඒත්තු යා හැකි ය. එසේ නම් අප විමසිය යුත්තේ ඔබට සිදු වූ දෙයක් කියවීමෙන් අපට ඇති ඵලය කුමක් ද යන්නයි. එය කතාන්දරයක් ඇසීමට වැඩි දෙයක් නොවේ.

බොහොමයක් අද්‍යතන කෙටිකතා කියවන විට පෙනී යන කරුණක් නම් තමාට සිදු වූ සිද්ධියක් නැත්නම් අත්දැකීමක ඇලී ගැලී විස්තර කිරීම ය. එය කපා කොටා කිසි යම් අරමුණක හෝ දෘෂ්ටියක පිහිටා එය ප්‍රතිනිර්මාණය කිරීම අවශ්‍ය වේ. ප්‍රතිනිර්මාණය සිදු වන්නේ කල්පනයෙනි. අත්දැකීමක් අවසාන වන්නේ ප්‍රධාන චරිතය මිය යාමෙන් නම් කතාවේ අභිප්‍රාය අනුව ඔහු ජීවත් කරවීමට සිදු විය හැකි ය. අත්දැකීමේ ඔහු ජීවත් වන්නේ නම් නිර්මාණයේ ඔහු මරා දැමීමට සිදු විය හැකි ය.

අප කොතරම් ජීවිත කාලයක් ජීවත් වුවත් ඒ කාල පරාසය තුළ ලබන්නා වූ අත්දැකීම් පූර්ණ උසස් නිර්මාණයක් සඳහා සෑහේ යැයි සිතිය නොහැකි ය. ඒ අඩුපාඩුව පුරවා ගත හැක්කේ සමාජ නිරීක්ෂණයෙනි. එසේ ම දෛනික පුවත්පත්, වාර්තා, ගුවන්විදුලි, රූපවාහිනී ප්‍රවෘත්ති හා සාකච්ඡා බොහෝ විට ඔබට අමුද්‍රව්‍ය සපයයි.

ඒවායේ යථාර්ථය ඒවායේ පක්ෂපාතීත්වය සාමාන්‍ය මිනිසාගේ ජීවිතයේ පැවැත්මේ ඇති ශෝකාකූල බව ආදී මේ සියල්ල මාධ්‍ය තුළින් සපයා ගත හැකි අමුද්‍රව්‍ය වේ. මේ සියල්ලේ ඇති සත්‍ය හා උත්ප්‍රාසය අප අවබෝධ කර ගත යුතු ය. අත්දැකීම් නිර්මාණකරණයේ දී නිෂ්ඵල යැයි කිව නොහැකි ය. එහි ඇති අසම්පූර්ණභාවය පමණක් අප අවබෝධ කර ගත යුතු ය. නිර්මාණයේ දී ලේඛකයා කල්පිතයක් සේ ගොඩනඟන ඇටසැකිල්ල පෝෂණය කිරීමට, එනම් නිර්මාණයට ජීව ගුණය ලබා දීමට අත්දැකීම් බෙහෙවින් ඉවහල් වේ. චරිතවල හැසිරීම්, මනාව නිරූපණය කිරීමට අත්දැකීම් ඉවහල් කර ගත හැකි ය.

කෙටි කතාවක් ලිවීමේ දී ආකෘතිය - රචනෝපක්‍රම කලින් පිළියෙල කරන ලද ඒවා නොවිය යුතු ය. තමා ලියන දේ ප්‍රබල ව කිව හැක්කේ කෙසේ ද යන්න ගැඹුරින් කල්පනා කිරීම අවශ්‍ය වේ. ලිවීමට පෙර කථාවේ - සිද්ධියේ හෝ සිද්ධිදාමයට අදාළ දෘශ්‍ය රූප ගොනු කිරීම වැදගත් වේ. පූර්ණ කතාන්දරයක් අනුපිළිවෙළින් නොලියා ප්‍රබල දෘශ්‍ය රූප ඒකරාශී කරමින් කෙටි කතාව රචනා කිරීමෙන් එය වඩාත් ප්‍රබල වේ. අනවශ්‍ය දීර්ඝවීම්වලින් වැළකී සිටිය හැකි ය.

 බොහෝ වර්තමාන කෙටි කතා කියවන විට කතාවට එතරම් අදාළ නොවන විස්තර වර්ණනා ඇතුළත් වීමට හේතුව ලේඛකයා මේ ව්‍යායාමයේ නොයෙදෙන නිසා ය. මෙහි දී ලේඛකයාට දෘශ්‍ය මාධ්‍යයෙන් ආභාසයක් ලැබිය හැකි ය. තවදුරටත් පැහැදිලි කළහොත් චිත්‍රපටයක ප්‍රබල චරිත අවස්ථාවක් සියුම් ව - කාවැද්දිමට සමීප රූපයක් යොදා ගනී.

ඒ සමීප රූපයේ ඔහුගේ හෝ ඇයගේ මුහුණ, ඉරියව්, නළලේ රැලි, ඒවායේ පිරී ඇති දාඩිය බිඳු, දෑසේ දීප්තිය හෝ දුබලකම තබා රෝම කූපයක් පවා අපට දැකිය හැකි ය. තොල් පටක තැවරී ඇති සිනාවක් පැහැදිලි ව දැක ගත හැකි ය. එසේ ම රූපයෙන් මධ්‍ය රූපයට මාරු වෙන්නා සේ අවශ්‍යතාවය අනුව කෙටි කතාවේ ද ඒ ශිල්පය ම භාවිත කළ හැකි ය.

අපගේ බොහෝමයක් කෙටි කතා සංස්කරණයෙන් තොර චිත්‍රපටවලට සමාන ය. (නවකතාවලට ද අදාළ ය) තමා දන්නා කියන විඳ දරා ගත් සියල්ල නිර්මාණය තුළ බහාලනු පෙනේ. කතාවක් කියාගෙන යාම මිස නිරූපණයක් සිදු නොවේ. එනිසා නිර්මාණකරුවා, චිත්‍රපටයේ අත්‍යවශ්‍ය රූප රාමු තෝරා සමෝධානය කරන ආකාරයට ප්‍රබල සිද්ධි තෝරාගෙන ඒවා මනාව පිරිද්දීම අවශ්‍ය වේ. එයට අපි සමෝධාන රීතිය යයි කියමු.

එනිසා ලේඛකයාට සිද්ධි විස්තර, වර්ණනා පමණක් නොව, ඡේද පවා කපා හැරීමට හා නැවත නැවත සිද්ධි සුදුසු තැන්වල යෙදීමට තරම් ඉවසීමක් තිබිය යුතු ය. කෙටි කතාවේ සිදු විය යුත්තේ සිද්ධියකින් සිද්ධියකට පැන යාම ය.

නිමාව යන්න ද නිර්මාණකරණයේ වැදගත් වෙයි. මෙය කෙටි කතාවට පමණක් නොව සියලු කලා නිර්මාණ හා සම්බන්ධ කාරණයකි. පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය, පිළිම කලාව, සඳකඩ පහණ, මුරගල, පිය ගැට පෙළ, ඇම්බැක්කේ කණුවල ලී කැටයම්, පැරණි ගෘහ භාණ්ඩ ආදිය විමසන විට ඒවායේ උපයෝගීතාවට අමතර ව ඒවායේ නිමාව පිළිබඳ ශිල්පීන් කොතරම් සැලැකිලිමත් වී ඇතිදැයි සිතා ගත හැකි ය. ඇතැම් අය “නිමාව“ බටහිර සංකල්පයක් සේ හඳුන්වා දෙන අවස්ථා තිබේ.

පුරාතනයේ ආත්මාරක්ෂක අවියක් වන කිරිච්චියේ මිට මුතු මැණික් ඔබ්බවා කැටයම් කොට ඉණේ තබා ගැනීමට ගැළැපෙන ප්‍රමාණයෙන් හා හැඩයෙන් නිමවන ලද්දේ උපයෝගීතාව මෙන් ම නිමාව පිළිබඳ දැක්වූ සැලකිල්ල නිසා ය. කෙටි කතාවක නිමාව යනුවෙන් අදහස් කරන්නේ එය නැවත නැවත කියවමින් කපා කොටා නිර්මාණයට අලංකරණයක් ලබා දීමටයි. ජී. බී. සේනානායක හා ඇන්ටන් චෙකෝෆ්ගේ නිර්මාණ මීට මනා නිදසුන් වේ.

නිර්මාණයේ භාෂා භාවිතය යන්න අප විසින් නැවත නැවත අධ්‍යයනය කළ යුතු විෂය ප්‍රදේශයකි. සාහිත්‍ය නිර්මාණ කර්තව්‍ය සිදු වන්නේ භාෂාවෙනි. භාෂා ප්‍රාගුණ්‍ය එක් දෙයකි. නිර්මාණයේ භාෂාව හැසිරවීම තවත් දෙයකි. හොඳ භාෂා ප්‍රාගුණ්‍යයක් නොමැතිව නිර්මාණකරණයේ යෙදිය නොහැකිය. එසේම භාෂා ප්‍රාගුණ්‍ය තිබූ පමණින් නිර්මාණාත්මක භාෂාව හැසිරවීම සුකර නොවේ. නිර්මාණකරුවා සාම්ප්‍රදායික වාග් රටා වෙනුවට නව වාක්‍ය රටා නිර්මාණය කරයි. නව කාව්‍යෝක්තීන් උපමා රූපක නිර්මාණය කරයි. කෙටියෙන් කිවහොත් නිර්මාණකරුවා භාෂාව පෝෂණය කරන්නේ ය.

කෙටිකතා මෙන්ම නවකතා විචාරයේ දී “මෙම නිර්මාණය සරල සුගම බසින් රචනා වී තිබීම එහි සාර්ථකත්වයට හේතු වී තිබේ” යයි විචාරකයන් පවසන අවස්ථා සුලබ ය. මෙය නිර්මාණය හා නිර්මාණාත්මක බස පිළිබඳ අනවබෝධයෙන් කෙරෙන විචාරයකි.

එවැනි අදහස් ආධුනික නිර්මාණකරුවන් නොමඟ යවන සුලු වේ. සරල වාක්‍යයකින් හෝ සරල බසකින් සංකීර්ණ සිතුවිලි ප්‍රකාශ කළ හැකි නොවේ. ශෝකයේ පතුල, වියෝගයේ ඛේදය හෝ අසාධාරණත්වයේ උල්පත සරල බසින් හෝ සුඛනම්‍ය බසකින් ලියන්නේ කෙසේ ද? මේ විචාරකයන් කියන්නේ ප්‍රබල ධාරණාවක් ඇල්මරා ඉදිරිපත් කරන ලෙසයි.

නිර්මාණකරණයේ දී ලේඛකයා කිසියම් දෘෂ්ටියක පිහිටා සිටිය යුත්තේ ය. යහපත් දෘෂ්ටියකින් තොර ව කෙරෙන නිර්මාණය කෙතරම් සියුම් ව රචනා කළත් එහි අරුතක් නැත. ඒ දෘෂ්ටිය සමාජය පිළිබඳ ව විය හැකි ය. මිනිසාගේ පැවැත්ම පිළිබඳ ව විය හැකි ය. දේශපාලනය සම්බන්ධ ව විය හැකි ය. ඒ කුමන කාරණයක් අරභයා වුව ලේඛකයාගේ දෘෂ්ටිය ඉස්මතු විය යුතු ය.

එය කොහෙත් ම ප්‍රචාරාත්මක විය යුතු නොවේ. ඇතැම් විට ඒ දෘෂ්ටිය ගැබ්වන්නේ කතාවේ යටි තලයේ ය. කතාවේ උඩු තලයේ දිවෙන චරිතවල ක්‍රියාකාරකම් හා බද්ධ වී අපි කතාව වින්දනය කරමු. එහෙත්, අවසානයේ මිනිසා කරා එන මේ විපත් කරදර, කම්කටුලු, වියෝවීම් සිදුවූයේ සමාජයේ පවත්නා කුමන හේතු කාරක නිසා ද? කුමන විෂමතා නිසා ද? ඒවාට පිළියම් තිබේ ද? මේ බලවේග නිශේධනය කළ නොහැකි ද? මේ සියල්ල විඳ දරාගෙන තවත් අපි ජීවත් වෙමු ද? එසේ නොමැති නම් මේවා නිවැරැදි කරගන්නේ කෙසේ ද වශයෙන් අප කල්පනාවට පොලඹවන්නේ කතාවේ ඉස්මතු නොවන යටි පෙළයි. එවැනි යටි පෙළක් නොමැති බුද්ධි ප්‍රබෝධයක් සිදු නොවන නිර්මාණය හුදෙක් මධ්‍යම ගණයේ නිර්මාණයක් වේ.

කැපවෙන ලේඛකයා තුළ වීරයෙක් සිටියි. ඒ වීරයාගේ සිතුවිලි, ක්‍රියාකාරකම්, කැපවීම ඔහුගේ ලේඛනයේ ගැබ් ව පවතී. එහෙත්, ඔහු ප්‍රචාරකයකු සේ පෙනී නොසිටී. ඔහු පාඨකයාගේ කල්පනාව පුබුදු කරන්නේ ය. මෙහි දී අප අදහස් කරන්නේ ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ වීරත්වය නොවේ. චිත්‍රපටයක හෝ නවකතාවක කාලය හා අවකාශයේ වර්ධනය වන වීරත්වය කෙටිකතාවේ සංකෝචනය කිරීම පහසු නොවේ.

සුළු උදාහරණයකින් මේ කාරණය පැහැදිලි කිරීමට ජී.බී.සේනානායකගේ ‘තාත්තා’ කෙටි කතාව ගත හැකි ය. තාත්තා තම සියලු සේසත විකුණා දමා එක ම පුතාගේ අධ්‍යාපනයට විය පැහැදම් කරයි. පියා වැඩිපුර කතාබහ කරන්නෙක් හෝ එළිපිට ආදරය දක්වන්නෙක් හෝ නොවේ. ඉගෙනුම අවසන් කරන පුතා රැකියාවක් ලැබ විවාහ වී කොළඹ පදිංචි වේ.

පදිංචි ගෙය ද අහිමිවන පියා පුංචි කුලී නිවසක පදිංචියට යයි. පුතුගේ පෙරැත්තය පිට පුතු හා ලේලිය සමඟ පදිංචියට යයි. පියාගේ වත් පිළිවෙත් ලේලිය නොඉවසන බව පියා දැනගනියි. ඔහු තම අත් බෑගය පමණක් ගෙන අතුරුදහන් වෙයි. පුතුගෙන් ඉඩකඩම් බේරා දෙන ලෙස නොඉල්ලයි. මුදලක් හදලක් නොඉල්ලයි.

පුතුගේ හා ලේලියගේ පැවැත්මට ඔහු බාධාවක් බව පසක් කර ගනියි. ස්ත්‍රියට දොස් පවරන්නේ හෝ පුතුට අවවාද අනුශාසනා කරන්නේ් නැත. ඔහු ශෝකයට හෝ කෝපයට පත් වන්නේ ද නැත. වීරත්වයකින් ඔහු අතුරුදහන් වෙයි. සාහිත්‍ය නිර්මාණය තාත්වික අපක්ෂපාතී ස්වාධීන නිර්මාණයකි යන විචාරක මතය දීර්ඝ කාලයක් මුල් බැස ගෙන තිබීම කෙටි කතාවේ මෙන් නවකතාවේ ඉහත කී ගුණය ගිලිහී යාමට හේතු වූ බව කිව යුතු ය.

පරිසර වර්ණනා හා සංකේත කෙටි කතාවේ අවශ්‍ය ම අංගයක් සේ සිංහල විචාර නිබන්ධවල සඳහන් වේ. කිසියම් කෙටිකතාවක් ගොඩනැගෙන්නේ කුමන භූගෝලීය පරිසරයක ද? කුමන සමාජ කොට්ඨාසයක ද යන්න තහවුරුවීම අවශ්‍ය වේ. එහෙත්, නවකතාවක මෙන් පරිසරය හෝ පසුබිම තහවුරු වීමක් කෙටිකතාවක අවශ්‍ය නොවේ.

කෙටිකතාව ගොඩනැඟෙන්නේ ගමක ද, අර්ධ නගරයක ද, මුඩුක්කු ප්‍රදේශයක ද යන්න අන්තර්ගත සිද්ධිදාමය සමඟ ම තහවුරු කළ හැකිය. තමා නිරූපණය කරන චරිත, මතුවිය යුතු පරිසරය කාල්පනික ව නිර්මාණය කිරීමට වඩා ඉතා හොඳින් දන්නා සමීප පරිසරයක් සිහියේ තබා ගතහොත් මේ කාර්යය වඩාත් පහසු වන්නේ ය. එවිට චරිත – චරිත අවස්ථා සමඟම මේ කුමන පරිසරයක ජීවත් වන්නේ ද යන්න වෙහෙසකින් තොර ව නිර්මාණය කළ හැකි ය.

නමුත්, බොහෝ කෙටි කතාවල විශේෂ වූ දෙයක් හැටියට සලකා පරිසරය වර්ණනා කරනු දැකිය හැකි ය. බොහෝ ලේඛකයින් “සියොත්හු නිල් අහස් කුස පියාඹති. මඳ නල පරිසරය සිප ගනී. හෝරා යන්ත්‍රය රාත්‍රි දොළහ කණිසම සටහන් කළේ ය.” වැනි කෘත්‍රිම විස්තර වර්ණනාවලින් කතාව ආරම්භ කරනු දැකිය හැකි ය.

හෝරා යන්ත්‍රය, කණිසම වැනි යෙදුම් සිංහල කෙටි කතාවේ මිස සමාජයේ ව්‍යවහාර නොවේ. මෙවැනි පරිසර වර්ණනා හෝ වැකි කතාවේ ආරම්භයේ පමණක් නොව, කතාවේ අතරින් පතර යෙදීම අත්‍යවශ්‍ය අංගයක් සේ ලේඛකයින් සිතන්නේ ඉහත කී වැරැදි මතවාදයන්හි එල්බගෙන සිටින නිසා ය. කතාව නිශ්චිත ප්‍රබල ආකර්ෂණීය අවස්ථාවකින් ආරම්භ කිරීම සෑහේ.

සංකේත භාවිතය ගැන ද කිවයුත්තේ එය ම ය. සංකේතාත්මක යෙදුම් අවශ්‍යවන්නේ සංක්ෂිප්තභාවය රැක ගැනීමට හෝ එළිපිට විස්තර කළ නොහැකි සිද්ධියක් ඇඟවීම සඳහා ය. එසේ නොමැති ව වරින් වර සංකේතාත්මක යෙදුම් භාවිතය අලංකාර ඇඳුම පිටින් වැරහැලි ඇඳුම් එල්ලීමක් වැන්න.

විද්‍යුත් මාධ්‍යයෙන් අපට ආභාසයක් ලබාගත හැකි බව සාකච්ඡා කළෙමු. එසේ ම ලිඛිත මාධ්‍යයට ඉන් එල්ලවිය හැකි තර්ජනය හෝ අභියෝගය ගැන ලේඛකයා කල්පනාවට ගත යුතුªය. සාක්ෂරතාව, අධ්‍යාපනය විශාල ලෙස පුළුල් වී ඇතත් පොත පත (විශේෂයෙන් කෙටිකතා) පරිශීලනය ශීඝ්‍රයෙන් පහළට වැටෙමින් පවතී.

විද්‍යුත් මාධ්‍යයේ වර්ණ, රූප, සංවාද සංගීතය හා තාක්ෂණික හාස්කම් සමඟ හැල හැප්පීම්වලට මුහුණ පෑමට ලේඛකයාට සිදු වී තිබේ. විද්‍යුත් මාධ්‍ය ප්‍රචලිත ව නොතිබූ යුගයේ බිහි වූ කතා කලාව අප වෙනස් කරගත යුතු ව තිබේ. දිගට කතාවක් කියාගෙන යනවා වෙනුවට දැඩි සංක්ෂිප්ත භාවයෙන් යුතු ප්‍රබල සිද්ධි ඉස්මතු කොට නාට්‍යමය ආකාරයෙන් රචනා කිරීම ද නවකතා කලාව, භාෂා රීතීන් හා ප්‍රකාශන විධි ගවේෂණය කිරීම ද දෘශ්‍ය මාධ්‍යයට හසුකර ගත නොහැකි සියුම් අන්තර්ගතයන් සොයා යාම ද අවශ්‍ය ව තිබේ.

බොහෝ වර්තමාන සිංහල කෙටිකතා සරල කතාන්දරය, එක්කෝ නවකතාවකට සුදුසු විශාල කතාවක් සාරාංශ කිරීමකි. කතාන්දරයක් කියන ස්වරූපයෙන් තව ම කෙටි කතාකරුවන් මිදී නැත. බොහෝ අන්තර්ගතයන් පාඨකයා දුර්මුඛ කරන අඳෙීනා ය. දුක රසයක් නොවේ.

කෙටි කතාවක් මුද්‍රණයෙන් පළ කළ යුත්තේ එය පූර්ණත්වයට පත් ව ඇතැයි කතුවරයා අවබෝධ කර ගත් පසුව ය. මේ තත්ත්වය අවබෝධ කරගත හැක්කේ කෙටි කතාව ලියා මාස කීපයකින් අනතුරු ව කියවන විට මේ කෙටිකතාව රචනා කළේ තමා විසින් ම ද යන විමතිය ඇති වුවහොත් එය පළ කිරීමට සුදුසු සමාප්ත කෘතියක් වන්නේ ය.

පුළුල් සමාජ පසුබිමක වර්ධනය වන කතාවට වඩා අද සමාජයේ ඛේදවාචකය කියාපෑමට වඩාත් ප්‍රබල හා උචිත මාධ්‍ය කෙටිකතාව යයි සිතේ. මාධ්‍යයක් හැටියට කෙටිකතාව වඩාත් නම්‍ය වේ. සමාජයේ විවිධ පදාසයන් සියුම් ව ග්‍රහණය කර ගැනීමේ ගුණය රැඳී තිබෙන්නේ කෙටිකතාවෙහිය.

ඉන්දියානු ප්‍රාන්ත භාෂාවන්ගෙන් රචිත කෙටි කතාවල පරිවර්තන සලකා බලන විට ඒ ප්‍රාන්ත ජනයාගෙන් දුක්ඛ දෝමනස්සයන්, ප්‍රාන්තීය ගති පැවතුම්වල සුවඳ, දුගී දුප්පත්කම, කුල භේදය, අව්ව, වැස්ස හා අසාධාරණය විසින් පීඩාවට පත් කරන ලද ඔවුන්ගේ ජීවිතවල පැතිකඩවල් ඉතා සියුම් ව ප්‍රකාශ වනු පෙනේ.

ඒ කෙටිකතා ඔවුනට ආවේණික රීතීන් ඔස්සේ සම්ප්‍රදාය ඔස්සේ පෝෂණය වෙමින් වැඩෙනු පෙනේ. සිංහල කෙටිකතාව දෙස බලන විට ප්‍රවීණයන් අතීතයට බරවන අතර ආධුනිකයන් වර්තමානය සමඟ පොර බදිමින් ඉදිරියට ඒමට කරන උත්සාහය පෙන්නුම් කරයි. ඔවුන් අත්දැකීම් වශයෙන් නව සමාජ පදාසයන් ද නව ප්‍රකාශන විධික්‍රම ද ඊට උචිත භාෂා රීතින් ද තනා ගැනීමට දරන උත්සාහය ප්‍රශංසනීය වේ.

සිංහල නවකතාවේ හා කෙටිකතාවේ ප්‍රගමනයට බාධාවන කරුණු කීපයක් පෙන්වා දිය හැකි ය. ඉන් එකක් නම් සමකාලීන අත්දැකීම් කලක් ගත නොවී සාහිත්‍යයට යොදාගත නොහැකි ය. යන අදහසයි. එම අදහස් දරන ලේඛකයෝ අත්දැකීම් කෞතුක භාණ්ඩ බවට පත්වන තුරු බලා සිටිති.

තවත් උදවිය මෙවැනි කුඩා රටවල අත්දැකීම් හිඟ බව පවසමින් මහ ගණ කැලෑවල හෝ මහාමාර්ගවල හෝ මුඩුක්කු ප්‍රදේශවල අත්දැකීම් සොයා සැරි සරති. මේ තත්ත්වය ශෝචනීය බව කීම පමණක් සෑහේ. ලේඛකයකුට ප්‍රබුද්ධ කල්පනයක් ඇත්නම් හෝ සමාජය ගැන අවදියෙන් සිටින්නේ නම් හෝ අත්දැකීම් පිළිබඳ ගැටලුවක් මතු විය නො හැකි ය.

එසේ උකහා ගන්නා කල්පනයන්ට මනා අනුපාත ජනශ්‍රැතියෙන් ද – ජනකතාවෙන් ද – කට කතාවෙන් ද – රූපවාහිනී – ගුවන් විදුලිය හා පුවත්පතින් ද සැපයෙන්නේ ය. ඒවා මනාව කිරා මැන – කපා කොටා - තෝරා බේරා ගැනීම තමාගේ ආකල්ප විකල්පයන් සමඟ පෙළ ගැස්වීම හොඳ නිර්මාණයක් සඳහා සෑහේ.

අනෙක් කාරණය නම් විචාරයේ ඇති පසුගාමිත්වයයි. තවමත් සාහිත්‍ය විචාරයේ අප විසින් යොදා ගනු ලබන්නේ් මීට අඩසිය වසකට පෙර බටහිරින් ආනයනය කොට තහවුරු කරන ලද විචාර ධර්මයි. මෙවැනි සම්මතයක පිහිටා කෙරෙන විචාරවලින් නව නිර්මාණ ප්‍රතික්ෂේප වෙනු පෙනේ. ඇතැම් විචාරකයකු අතින් ප්‍රතික්ෂේප වන කෘතියක් තවත් විචාරකයකුගේ මහත් ප්‍රශංසාවට ලක්වනු පෙනේ. එවැනි ප්‍රතිවිරෝධයන්ගෙන් පෙනී යන්නේ සමකාලීන කෘතීන් අගය කිරීමට අවශ්‍ය විචාර රීතීන් සකස් වී නැති බවයි.

මෙයට කෙටි පිළිතුරක් වශයෙන්, ෂන් පෝල් සාර්ත්‍ර විසින් රචිත “සාහිත්‍ය යනු කුමක්ද” යන කෘතියේ එන වැකියක් සඳහන් කිරීම සෑහේ.

”අපම නිර්මාණයට අවශ්‍ය රීති හා සම්ප්‍රදායන් ඇති කර ගත මනා ය. නිර්මාණ ප්‍රේරණය අපගේ මුළු හද පත්ලෙන් ම මතු වන්නක් නම්, එවිට අපට හැඟෙන්නේ අප නිර්මාණයේ යෙදෙන බවයි. එය විනිශ්චය කරන රීති හා සිද්ධාන්ත අපගේ ම නිර්මාණ විය යුතු ය.”

ස්තූතිය-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

මට ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව....
ඒ නිසා කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Subscribe to Posts | Subscribe to Comments

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

ලිපි ගොනුව

Blog Archive

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks