ලිපිය පල කළේ : Unknown
Tuesday, February 11, 2014
අන්ධ කවියා
රත්සර හෙළැ'ඹුලු නිලුපුල් මීගඳ නැහැ පුඩු අතරින් ළයට කැවේ
මායා සිහිනය මැද්දේ පිහිනමි එනමුදු නොදකමි එළිය ලොවේ
හදවත කොඳුරයි එහි සටහන් ළඟ හිඳ පිටපත් කළ හැකිද දුවේ
විසිතුරු සිතිවිලි අතරින් පැනයති මී මැස්සෝ ගුමු ගුමුව දිදී
අසරණ මා දැක අමතන විලසින් සුළඟින් තුරුපත් එකට වදී
වන විහඟුන්ගේ ගීතය ඉහිරෙයි විළිකුන් පලතුරු සමඟ බිඳී
ලෝකය පිබිදී දොඩමළු වී ඇත මා පමණක් නෙත් අඳව නිදී
වැව් බන්දේසිය සොබා සොඳුරි වෙත පිළිගන්වන විට ඇඹුල තබා
පෙර මෙන් අහසේ පායන රන්හිරු වගුරන්නෙද මිණි කිරණ පබා
වදුලේ පරඬැල් අතුළ කැදැල්ලේ තනියම පසුවන කුරුලු බබා
මව නැති අතරේ ''කිචි කිචි'' ගෑවේ ඉගිලෙන පිණිසයි ළඟදි නොබා
අංකුර පහරින් ඉවුරේ පස් බිඳ ගවයෝ දිය බී යතිද දොළින්
කඩි පෙරහැර වැළ නොකැඩී ඇදෙතිද තවමත් නිල්තණ බිඩැලි වලින්
දියණිය ඔබ මව මට අමතන්නිය සැඟවී හිඳ උණ පඳුරු තුළින්
අමුණා මල්දම් මා ගෙළ සරසනු ඈ වැළලු තැන පිපුණ මලින්
උණුසුම සිසිලස හඳුනමි ගුණයෙන් රෑ දාවල එක පරිදි ගෙවේ
කැළඹී පාවෙමි දුම් රොටුවක් මෙන් යට ගිය මතකෙහි සිහින ලොවේ
මවගේ කටහඬ වෙනසක් නොමැතිව සැඟවී ඇත ඔබ මුවෙහි දුවේ
ඈ දුන් රන් මල්දම හිස එපරිදි ඇද්දයි අතගා බලමි මුවේ
ඔබගේ මව සහ මා එක් දවසක් අවර'ඹරෙහි හිරු ගිලෙන පැයේ
හිඳගෙන හුන් විට පුලින තලාවක ඈ විමසූවා වැතිර ළයේ
සැන්දෑ වෙළ පෙති පරයන තොල් ඇති දූ මැණිකක් ඔබ රිසිද පියේ
ඇය කී වදනෙහි සැබෑව දක්නට පෙර මගෙ නෙත් දෙක නැතිව ගියේ
මදුමල් පෙතිවල සිනිඳු මොළොක් බව මවගේ අත්වල තිබුණු එදා
ඈ නැති වූයේ ඒවා කැටිකොට පොඩි දුවගේ අත් දෙකට පුදා
නා රොන් වැනි මුදු කෙහෙරැලි පීරා සුවඳ අලෙව් දී පොකුරු බෙදා
සරසන සැටි ඔබ දක්නට නොලැබී ඇතිවෙයි අඳ ඇස්වලට රුදා
ආලය උල්පත් දෙතැනක පිපිරී මහ ගංගාවක් පරිදි සෙනේ
උතුරා යද්දී නැංවූ සේතුව නොදකී ඇස් දෙක සිතට පෙනේ
ඇයි මෙතරම් තෙත පොඩි කම්මුල්වල සුරතල් දුව අඬනවද අනේ
දුවගේ කඳුළැලි අත ගෑවෙන විට ලේ තැවරෙන මෙන් අතට දැනේ
පී.බී.අල්විස් පෙරේරා
මීට සම්බන්ධ ලිපි :
- Back to Home »
- අධ්‍යාපනික , කවි හා ගීත , සිංහල »
- අන්ධ කවියා